Menu
නහර ගැට ගැසීමට නොවරදින විසඳුමක්

නහර ගැටගැසීම ලේසියෙන්ම සුව කරගන්නා ආකාරය

871

අපි කවුරුත් ආස දෙයක් තමයි අපේ සිරුර ලස්සනට තියාගන්න. ඉතිම් අපි එහිදී අපේ දෙපා ලස්සනට තියාගන්නත් අමතක කරන්නේ නෑ. නමුත් අපේ දෙපාවල ලස්සන සහ පැහැපත් පෙනුම නැතිවෙන්න ප්‍රධානම හේතුවක් තමයි නහර ගැට ගැසීම කියන්නේ. විශේෂයෙන්ම කාන්තාවන් නහර ගැට ගැසීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්වනවා.

අපි අද කතා කරන්නේ නහර ගැටගැසීමට නිවසේදීම කරන්න පුළුවන් ස්වභාවික සත්කාර කීපයක් ගැනයි.

නහර ගැටගැසීමට හේතු ? 

අපේ සිරුරේ ලේ ගමනාගමනය සිදුවෙන්නෙ රුධිර නාල හරහා බව ඔබ දන්නවනේ. 

ඉතිං මේ පිරිසිදු අපිරිසිදු රුධිරය රුධිර නාලිකා හරහා ශරීරය පුරා ගෙනයද්දි එවා එකිනෙක සමඟ මිශ්‍ර නොවෙන්නත් අපිරිසිදු රුධිරය නැවත රුධිර නාලිකා හරහා ගමන් නොකරන්නත් රුධිර නාල වල තියෙන කපාට වල ක්‍රියාකාරීත්වය අත්‍යාවශ්‍යයි. 

නමුත්, මේ කපාට නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම නිසා අපිරිසිදු රුධිරය වළලුකර ආශ්‍රිත රුධිර නාලිකා වලම තැම්පත් වීම සිදුවෙනවා. මෙන්න මේ තත්වය තමයි අපි නහර ගැට ගැසීම කියල හඳුන්වන්නෙ. 

රෝග ලක්ෂණ විදිහට මුලින්ම ඔබට රාත්‍රී කාලයේදී මස්පිඬු වල වේදනාවක් දැනෙනව නම්, වළලුකර ඉඳිමීම, රාත්‍රියට මස්පිඬු පෙරළීමත් පසුකාලීනව කකුල් වල විශේෂයෙන්ම වළලුකර ආශ්‍රිත සම අවපැහැගැන්වී නහර මතුවී පෙනෙන්න ගැනීමත්, සම කැසීමට පටන් ගැනීමත් කැසීම නිසා සුව නොවන තුවාල ඇත්වීමත් දකින්න ලැබෙනවා. 

හොඳයි දැන් අපි බලමු මේ සඳහා නිවසේදී අපිට කරන්න පුළුවන් පිළියම් කීපයක් ගැන. 

ව්‍යායාම 

ව්‍යායාම මඟින් ඔබේ සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. එමඟින් ඔබේ පාදවල එකතු වී ඇති අපිරිසිදු රුධිරය පීඩනයකට ලක් කිරීම නිසා ඒවා ක්‍රමයෙන් ඉවත්ව යනවා. 

ඔබේ පාදවල වේදනාව නිසා ව්‍යායාම තෝරා ගැනීමේදී ඔබ ඉතාම සැළකිලිමත් විය යුතුයි. අපහසුවකින් තොරව ඔබේ කකුලේ මාංශපේෂී වලට බලපෑම් කරන්න පුළුවන් පිහිනීම, ඇවිදීම, බයිසිකල් පැදීම යෝග අභ්‍යාස වැනි සරල ව්‍යායාම වල නිරත වීම වඩා සුදුසු වෙනවා. 

සම්බාහනය කිරීම

සැර නැති සම්බාහන තෙල් වර්ගයක් එහෙමත් නැත්නම් ක්‍රීම් වර්ගයක් ආලේප කර හෙමින් මෘදුව නහර ගැට ගැසී ඇති ස්ථාන සම්බාහනය කරන්න ඔබට පුළුවන්. 

නහර පිටතට පැමිණි ඇති නිසා සම්බාහනය කරද්දි එම නහර වලට අනවශ්‍ය පීඩනයක් ඇතිවීම වේදනාව වැඩි කරන නිසා සම්බාහනයේදී වැඩි තෙරපුමක් ලබා නොදෙන්න ප්‍රවේශම් සහගත විය යුතුමයි. 

ලුණු ආහාරයට ගැනීම අඩු කරන්න

ලුණු එහෙමත් නැත්නම් සෝඩියම් වැඩි ආහාර මඟින් සිරුරේ ජලය රඳවා ගැනීම වැඩි කරනවා. 

ඒ නිසා සෝඩියම් අඩංගු ආහාර වලින් හැකි තරම් වැළකී පොටෑසියම් බහුල ආමන්ඩ්, පරිප්පු, බෝංචි, අල, කොළ පාට එලවළු සහ සැමන් සහ ටූනා වැනි මාළු වර්ග ඔබේ ආහාර වේලට පුළුවන් සෑම අවස්ථාවකදීම එකතු කරගැනීම හොඳ ප්‍රතිඵල ගෙනදෙනවා. 

ෆ්ලුවොනයිඩ් අඩංගු ආහාර වැඩිපුර කන්න

අපිරිසිදු රුධිරය රැස්වුනු ස්ථාන පිටතට පෙනීම වළක්ව ගන්න වගේම රුධිර සංසරණය ක්‍රමවත් කරන්න හොඳ සහයක් ෆ්ලුවොනයිඩ් වලින් ලැබෙනවා. ඒ වගේම ධමනි තුල පීඩනය අඩුකර ධමනි ලිහිල් කරන්නත් උපකාරී වන නිසා අපිරිසිදු රුධිරය එක්රැස් වීමේ අවධානම අඩු කරනවා. 

ලූණු, බෙල් පෙපර්, බොක්‍රලි වගේ එළවළු වර්ග, පැඟිරි සහිත සහ මිදි, චෙරි, ඇපල්, බ්ලූබෙරි වගේ පළතුරු වර්ග, සුදුළූනු සහ කොකෝවා ඔබේ ෆ්ලුවොනයිඩ් අවශ්‍යතාව සම්පූර්ණ කරනවා. 

ආලේපන

ඇපල් සයිඩර් විනාකිරි හෝ ඔලිව් තෙල් ආලේප කර සෙමින් සම්භාහනය කිරීම සහ සුදුළූනු බික් කීපයක් හොඳින් අඹරා සාදාගත් මිශ්‍රණයක් ආලේප කර ටික වේලාවක් තැබීමත් හොඳ ප්‍රතිඵල ගෙන එනවා. 

විනාඩි 20 ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ආලේපන ඉවත් කරගන්න පුළුවන්. 

ඔබේ මත්ද්‍රව්‍ය සහ දුම්බීමේ පුරුද්ද නහර ගැසීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා හැකිතරම් ඒවාගෙන් ඈත්ව සිටීම වඩා වාසිදායක වෙනවා. මීට අමතරව හැකි සෑම විටම කපු මේස් පැළඳ සිටීමත් රුධිර ගමනාගමනය හොඳින් සිදුවෙන්න උපකාර වෙනවා. 

කොහොමවුනත් නහර ගැටගැසීම නිසා ඇතිවන වේදනා සහ තුවාල සුවවීමට ප්‍රමාද නිසා වෛද්‍ය ප්‍රතිකාර සමඟම මේ සත්කාර කිරීම වඩා ප්‍රතිඵලදායක බව අපි ඔබට මතක් කර සිටිනවා.
(source – smartlady.lk)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *